Gossips

අලි නඩු,විශේෂ මහාධිකරණයට ගෙන යාමේ සූදානමක්

නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුද විශේෂ මහාධිකරණය වෙත යොමු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්. මහා පරිමාණ වංචා සහ දූෂණ විභාග කිරීම සඳහා ස්ථිර මහාධිකරණ 3 ක් පිහිටුවීමට යෝජනා වූ අතර, ඉන් පළමුවැන්න පසුගිය අගෝස්තු 21 වනදා නඩු විභාග ආරම්භ කළා. අධිකරණ පනත සංශෝධනය මගින් විශේෂ මහාධිකරණ පිහිටවනු ලැබුවේ මෙම නඩු කඩිනමින් පසඳලීමේ අරමුණින්.
දෙවන විශේෂ මහාධිකරණය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රයද අධිකරණ අමාත්‍යාංශය මගින් පසුගිය සතියේ නිකුත් කරනු ලැබුවා. බලපත්‍රයකින් තොරව අලි ඇතුන් ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් මහජන දේපළ පනත යටතේ සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට නියමිතයි.
ඒ අනුව කුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන අලි රොෂාන් මෙන්ම ඊට සම්බන්ධ බවට චෝදනා ලැබූ රජයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමටයි සැළසුම් කර ඇත්තේ.
කෙසේ නමුත් ඒ සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය හිමිවිය යුතුයි.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත්වරයෙකු වූ තිලිණ ගමගේටද චෝදනා එල්ලවුණා.