Gossips

මාලිංගගේ දස්කම් අපතේ යයි – බංග්ලාදේශය වෙතින් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

වසරකට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිිටියට පිවිසි ලසිත් මාලිංග සුපුරුදු දස්කම් දක්වමින් ලබාගත් කඩුලූ 4 අපතේ යවමින්, ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සමාරම්භක තරගයේදී බංග්ලාදේශය වෙතින් දැවැන්ත පරාජයක් ලැබුවා.
ඩුබායි හි පැවති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිලේ ප්‍රථම කඩුලූ දෙක සිය පළමු පන්දු වාරයේ පිට පිට පන්දු දෙකකදී දවාලීමට මාලිංග සමත්වුණා. ප්‍රබල පිතිකරු ශකීබ් අල් හසන්ද එලෙස මාලිංගගේ පන්දුවකට ගොදුරු වූයේ ලකුණු ලබාගැනීමටද පෙරයි.
කෙසේ නමුත් බංග්ලාදේශ නායක මුස්ෆිකර් රහීම් පන්දු 150 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමඟ ලබාගත් ලකුණු 144 හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 261 ක් වාර්තා කිරීමට හැකිවුණා.
ඔහුට අමතරව බංග්ලාදේශය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූයේ ලකුණු 63 ක් ලබාගත් මොහොමඩ් මිතුන් පමණයි.
ලසිත් මාලිංග සිය පන්දු වාර 10 තුළදී නිලකුණු පන්දු වාර දෙකක් සමඟ ලකුණු 23 කට කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, ඔහුගේ පන්දුවලට බංග්ලාදේශ පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලට පන්දු වාර 35 යි පන්දු දෙකකදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණයි.
එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 29 ක්ද, උපුල් තරංග ලකුණු 27 ක්ද රැස් කළ අතර, ලකුණු 20 කරා ළඟාවීමට සමත්වූ අනෙක් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ සුරංග ලක්මාල් පමණයි.
කඩුල්ල මුවා කළ බවට කුසල් පෙරේරා ක්‍රීඩාගාරයට යැවූ වැරදි විනිසුරු තීරණයද ශ්‍රී ලංකා පිලේ පරාජයට තවත් හේතුවක්.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ දුර්වලතා තරගයේ පරාජයට ප්‍රධාන හේතුව බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
විශේෂයෙන් ශතකලාභී මුෂ්ෆිකර් රහීම් ලකුණු 10 දී සහ ලකුණු 85 දී ලබාදුන් උඩපන්දුද එලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිලිහී ගියා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වාර්තා කළේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියාසිටියේ මෙම තරගය සමස්ත කණ්ඩායමටම ඉතා කණගාටුදායක තත්වයක් බවයි.
පන්දු රැකීමේදී උඩ පන්දු කිහිපයක් අත්හැරීම මගින් බංග්ලාදේශයට වාසිදායක තත්වයක් උදාවු බව ද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම මුශ්ෆිකර් රහීම්ගේ පිතිකරණය පිළිබඳව ද ශ්‍රී ලංකා නායකයා මෙහිදී අදහස් පළකළා.
ඔහු කියාසිටියේ එය ඉතා හොඳ පිතිහරඹයක් බවයි.
පිතිකරණයට ඉතා හොඳ තණතිල්ලක් පැවතිය ද පන්දුවට පහරදීමේදී තම කණ්ඩායම වැරදි තීන්දු තීරණ කිහිපයක් ගත් අතර එය ද තරග පරාජයට හේතුවන්නට ඇති බවයි මැතිව්ස් වැඩිදුරටත් කියාසිටියේ.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන මීළඟ ආසියානු කුසලාන අභියෝගය වන්නේ ඇෆ්ගනිස්ථානයයි.
එම තරගය හෙට අබුඩාබි හිදී පැවැත්වෙනු ඇති.