Gossips

වත්මන් ආණ්ඩුව ගැන අගමැති කතා කරයි

තමන් ආණ්ඩු කිහිපයක සිටි නමුත්, වත්මන් ආණ්ඩුව තරම් අවලාද එල්ල වන ආණ්ඩුවක නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 5400 කට සමෘද්ධි සහනාධාර හිමිකම් ලබාදීම සඳහා මාතලේ එඞ්වඞ් ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ආණ්ඩුවේ මීලඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමට වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මෙලෙස සමෘද්ධි සහනාධාරලාභීන් තෝරා ගැනීමේදී ඒකපාර්ශවිකව තෝරාගෙන ඇති බවට පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී විජේරත්න උත්සවය වර්ජනය කර ඇති බවට වාර්තා වනවා.
අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළද ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි ඇය සඳහන් කර ඇත්තේ.
මෙහි ඇති සත්‍යතාවය සොයා බැලීම සඳහා අප රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා.
එහිදී ඇයගේ කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් සඳහන් කළේ ඇය රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගතව සිටින බවයි.