Gossips

උඩුගම්පොල කාන්තාව සියදිවි නසාගෙන ඇති බවට සැකයක්

ගම්පහ – කෙහෙල්බද්දර – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක හට ගත් ගින්නකින් කාන්තාවක මියයාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක කරනවා.
අද පෙරවරුවේ මෙම ගින්න හට ගෙන තිබුණේ නිවස ඉදිරිපිට නවතා තිබූ බස් රථය තුළයි.
ගින්නෙන් එම නිවසේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ අතර දැඩි ලෙස පිලිස්සී තිබූ ඇගේ සිරුර බස් රථයේ රියදුරු අසුනේ තිබී පොලීසිය සොයා ගත්තා.
ගින්න සිදුවන අවස්ථාවේ එම කාන්තාව හැර කිසිවෙකු නිවසේ සිට නැහැ.
මෙම කාන්තාව මීට දින කිහිපයකට පෙර ළිදට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවටයි පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.
මේ අතර, ගම්පහ – නැදුන්ගමුව – රතුපස්වල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක් අසල පිහිටි ඉඩමක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.
එය අදාළ රබර් කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයට පැතිර යාමේ අවදානමක් පැවති අතර පසුව ගම්පහ ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කළා.
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ දෙකක් සහ නිලධාරින් පිටත් කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එසේම, වත්තල, හුණුපිටිය – වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රීඩා පිිටියක තිබූ රබර් කසල ගොඩකට ගිනි ඇවිලීමෙන් අද පස්වරුවේ තවත් ගින්නක් හට ගත් අතර, එය පැය කිහිපයකින් නිවා දැමීමට ප්‍රදේශවාසීන් සහ පොලීසිය කටයුතු කළා.
මේ අතර, කොළඹ – මාදම්පිටිය කසල කන්දේ සහ බ්ලූමැන්ඩල් කුණු කන්දේ ද සුළු ගිනි ගැනීම් වාර්තා වූ බවයි පොලීසිය කියා සිටියේ.