Gossips

හොරණ කම්හලේ පිපිරුණු ගෑස් සිලින්ඩරය, වසර 30ක් පැරණි බවට හෙළිවේ

හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන ආයතනයක සිදුවු පිපිරීමට හේතු වූ ඇමෝනියා වායුව අඩංගු ගෑස් සිලින්ඩරය වසර 30ක් පැරණි බව කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සුරක්ෂිතතා අංශය පවසනවා.
එහි කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු ටී.ජී.ආර්.කේ.හේමචන්ද්‍ර ඊයේ (14) එහි පරීක්ෂාවක නිරත වීමෙන් අනතුරුව මේ බව කියා සිටියා.
එමෙන්ම ඇමෝනියා සැපයුම්කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ලබන සතිය තුළ කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.
ඇමෝනියා ප්‍රවාහනය කිරීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කළේ ද යන්න පිළිබදව සහ කල් ඉකුත් වූ ඇමෝනියා ලබා දී ඇත්ද යන්න පිළිබදව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
එම තොරතුරු ඇතුළත් වාර්තාවක් කාර්මාන්ත සුරක්ෂිත අංශයේ ඉහළ නිලධාරීන් වෙත ලබාදෙන බවයි ඉංජිනේරු ටී.ජී.ආර්.කේ. හේමචන්ද්‍ර කියා සිටියේ.
ඊයේ (14) සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
එහිදී වයස අවුරුදු 18 ත් 35 ත් අතර වයස්වල පසුවන ලුණුගල, කහවත්ත සහ නමුනුකුල ප්‍රදේශවල පදිංචි අදාළ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයින් පස් දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් බරපතල තත්වයේ පසුවූ දෙදෙනෙකු පානදුර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
අදාළ කර්මාන්තශාලාවට ඊයේ (14) පෙරවරුවේ ලොරි රථයකින් ගෙන ආ ඇමෝනියා ගෑස් සිලින්ඩර් 17ක් ඉන් ඉවත් කිරීමට යාමේදී එක් වරම එහි තිබූ සිලින්ඩරයක් පිපිරී මෙම අනතුර සිදුවුණා.