Gossips

වියළි කාලගුණයෙන් තුන්ලක්ෂ 57,000කට පීඩා

දිවයිනේ දිස්ත්‍රික් 16කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හත්ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.
එහි පුද්ගලයින් තුන් ලක්ෂ 57,742ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලම පාහේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළ බැස ඇති අතර, ඉගිනියාගල – සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 34 දක්වා පහත බැස ඇත්තේ 1976 වසරෙන් පසු වාර්තා වූ අවම ජල මට්ටම ලෙසයි.
වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද පළාතේ 50,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
තලාව, එප්පාවල, නල්ලමුදෑව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව පානීය ජල ගැටළුවකට මුහුණ දී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
එමෙන්ම වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් ද විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මොණරාගල – සුදුවතුරආර ප්‍රදේශයේ ජනතාව ද පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.
ජල බවුසර් මගින් ලබාදෙන ජලය ප්‍රමාණවත් නොවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ.
මේ අතර, ඊයේ (14) පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (15) දිනයේ නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවල සහ පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි.