Gossips

බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි දුන්නැයි හිටපු ඇමති රවීට CIDයෙන් නඩු

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ඇතුලූ චෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා.
පසුගිය වසරේ අගෝස්තු 2 වනදා මන්ත්‍රීවරයා විසින් මෙලෙස දිවුරුම් පිට සාක්ෂි කොමිසමට ලබාදී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ලක්මිණී ගිරිහාගම අධිකරණයට පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඇත්දැයි බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ පෞද්ගලික, රාජකාරි හෝ නිල මට්ටමේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බව ද අධිනීතිඥවරිය සඳහන් කළා.
එහෙත්, එය ඉතා අසත්‍ය ප්‍රකාශයක් බවට මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව ද ඇය පෙන්වා දුන්නා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන මේ මස 28 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනුකරන ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා පොලීසියට උපදෙස් ලබාදුන්නා.