පොදු ප්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විධිමත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
රටේ පොදු ප්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප ප්‍රවාහන මාධ්‍ය වෙත යොමුවී සිටින මගීන් නැවත පොදු ප්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීම, මෙන්ම එමගින් මාර්ග තදබදය අවම කිරීම, මගීන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම ඇතුලු පොදු ප්‍රවාහනය මහජන හිතකාමී යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමේ පුලුල් වැඩපිළිවෙලක් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමුකර තිබෙනවා.
ප්‍රවාහන ගැටලූව රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් සිදුකරන අතර කලට, වේලාවට ගමනක් බිමනක් යාමට නොහැකිවීම, බස් රථ තුළ අධික තදබදය මෙන්ම වෙහෙසට පත්වීම මාර්ග තදබදය, විනයකරුක සේවාවක් නොලැබීම යන මගීන්ට බලපාන කරුණු මෙන්ම බස් හිමියන්ගේ ආදායම අඩුවී ඔවුන් අතර තරගකාරී බවක් ඇතිවීම මෙන්ම බස් සේවකයන්ට වෘත්තීය ගරුත්වයක් නොලැබීම වැනි කරුණු ගණනාවක් එමගින් මතුවී තිබෙනවා.
2008 වසරේ දී සමස්ථ මගී සංඛ්‍යාවෙන් 65% ක් පොදු මගී බස් රථ භාවිතා කළ ද මේ වන විට එය 40% දක්වා පහළ බැස ඇති බවයි සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.
ඊට හේතුව පොදු ප්‍රවාහනයේ තිබෙන ගැටලූ හේතුවෙන් මගීන් දිනෙන් දින විකල්ප තෝරාගැනීම්වලට නැඹුරුවීම නිසා බව ද එම සමීක්ෂණ වාර්තා සනාථ කර තිබෙනවා.
මෙම තත්ත්වය වෙනස් කරමින් වඩා කාර්යක්ෂම සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.