Gossips

බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු තහනම් කරයි

බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට තිරණය කළ බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.
අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ බෙල්ජියමෙන් පුටු ගෙන්වීම වෙනුවට දේශීය සමාගමකින් පුටු ඇනවුම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.
බස්නාහිර පළාත් සභාව සඳහා එකක් රුපියල් හයලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු 125ක් බෙල්ජියමෙන් ගෙන්වීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ඒ පිලිබඳව සෙයා බලා එම පුටු ඇනවුම තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.
ඒ පිළිබඳව සලකා බැලූ ආණ්ඩුකාරවරයා පුටු ඇනවුම තාවකාලික අත්හිටුවා ආණ්ඩුකාර ලේකම්වරයාට දැනුම්දී තිබුණේ ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසටයි.
එම කමිටු වාර්තාව පසුගියදා ආණ්ඩුකාරවරයාට ලබා දී තිබූණා.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර කියා සිටියේ මෙම වාර්තාවේ දෝෂ සහිත තැන් රැසක් පවතින බවයි.
බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම පිළිබඳව අද (13) හිරු TV පත්තරේ විස්තරේ තොරතුරු ගෙන ආවේ මෙලෙසින්.