Gossips

ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව සෙවීමට ඒ.අයි.එස්. තාක්ෂණය

ධීවරයින් හතරදෙනෙකුට මරු කැඳවමින් ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් යාත්‍රාවක ගැටුණු නෞකාව හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව එම කටයුතු සිදුකරන බවයි. ඒ අනුව ඒ.අයි.එස්. තාක්ෂණය භාවිත කරමින් අදාළ නෞකාව හඳුනාගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක ගාල්ලට බටහිරින් මුහුදු සැතපුම් 30 ක් දුරින් වූ ප්‍රදේශයේදී නෞකාවක් ගැටී තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි.
සිද්ධියෙන් ධීවරයින් හතරදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්වුණා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ අනතුරින් දිවි ගලවාගත් එක් ධීවරයෙකු මුදා ගත් බවයි.
පෙරේදා රාත්‍රියේ විශාල නෞකාවක් සිය යාත්‍රාවේ ගැටෙමින් ගමන් කළ බවයි ‘‘මලිඳු පුතා’’ නැමති එම යාත්‍රාවේ සිට දිවි ගලවාගත් 26 හැවිරිදි එරන්ද පුෂ්පකුමාර කියා සිටියේ.
අනතුර සිදුවූ ස්ථානය ආසන්නයෙන් ගමන් ගත් වෙනත් නෞකාවක්, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය ගලවාගැනීමේ මධ්‍යස්ථානය වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
පසුව නාවික හමුදාව එම ස්ථානයට ඩෝරා යාත්‍රාවක් පිටත් කර යැවූ අතර, එක් ධීවරයෙකු මුදා ගැනුනේ ඒ අනුවයි.
මෙම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.