Gossips

බස් ගාස්තු ගැන තීන්දුව හෙටට කල්යයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව හෙට තීරණයක් ගන්නා බව බස් සංගම් පවසනවා.
අද පස්වරුවේ ප්‍රවාහන සංගම් කිහිපයක් කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර මේ බව කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මසකට වරක් මෙලෙස ඉන්ධන මිල වැඩිවන්නේ නම් ප්‍රවාහන ක්‍ෂේත්‍රයටත් මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බවයි.
එසේ නොවන්නේ නම් තෙල් මිල සූත්‍රය ඉවත් කරගත යුතු බවයි ඔහු කියා සිටියේ. මාධ්‍ය හමුවට එක්වූ අනෙකුත් ප්‍රවාහන සංගම් සඳහන් කළේ වසරේ ගතවූ මේ දක්වා කාලය තුළ ඩීසල් සහ පෙට්‍රල් රුපියල් 28 කින් ඉහළ නංවා ඇති බවයි.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති සරත් විජිතකුමාර කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය හකුලා ගැනීමට රජය පියවර ගත යුතු බවයි.
මේ අතර, ඉන්ධන මිල මෙලෙස ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කළා.
එමෙන්ම කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේ තමා අමාත්‍ය ධුරය දරණ සමයේ මෙලෙස සිදු නොවූ බවයි.
එමෙන්ම රුපියලේ කඩාවැටීම මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බවද ඔහු කියා සිටියා.