Gossips

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා කමිටු රැස්වීම උණුසුම්

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද දිනයේ පැවැත්වුණු අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් කළු පටි පැළඳ රැස්වීම මධ්‍යයට පැමිණ විරෝධය දැක්වීමත් සමඟයි.
එම රැස්වීම පැවැත්වුණේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සහ අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක බෙනට් පනියන්දූවගේ ප්‍රධානත්වයෙන්.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව එක් පක්ෂයක් නියෝජනය කරන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා මෙන්ම මන්ත්‍රීවරයෙකු සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි විය හැකියි.
නමුත් අම්බලන්ගොඩ නගර සභා සහ ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සාමාජිකයින් චෝදනා කළේ තමන්ට සංවර්ධන කමිටු රැස්වීමට ආරාධනා කර නොතිබූ බවයි.
ඔවුන් රැස්වීම පැවැත්වූ ශාලාවට පැමිණ විරෝධය පළ කිරීමත් සමඟ ඊට සහභාගි වූ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ඔවුන් පිටතට රැගෙන එන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.