Gossips

දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී

ලබන මස 01 වනදා සිට සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුගිය අයවැය මගින් සියයට 15 කින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟයි මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ.
පසුගිය අගෝස්තු මස අවසන් කාලසීමාවේදී අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය ලබාගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වෙත යොමුකර තිබුණා.
ඉන් අනතුරුවයි ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා නිකුත් කර ඇත්තේ.
දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මාසයේ පත්කරනු ලැබුවා.
එහිදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් සහ පාලකවරුන්ගෙන් ගාස්තු සංශෝධනය පිළිබඳව වාර්තා කැඳවූ අතර, ඉන් අනතුරුවයි නව බස් ගාස්තු සහ ඉන්ධන වියදම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව ගණනය කිරීමෙන් අනතුරුව මෙම ගාස්තු සංශෝධනය සකස් කර ඇත්තේ.
නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10 ක් ව පවතින අවම දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදු කර නැහැ.
එහෙත් එම අවම ගාස්තුව අය කෙරෙන කිලෝමීටර 10ක් පැවති දුර ප්‍රමාණය නව සංශෝධනයට අනුව කිලෝමීටර 7 දක්වා අඩු කර තිබෙනවා.
සංශෝධනය වූ නව දුම්රිය ගාස්තුවලට අදාළව තුන්වන පන්තියේ කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා පැවති රුපියල් 205ක ගාස්තුව රුපියල් 275 ක් දක්වාත් කොළඹ කොටුවේ සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 130 සිට රුපියල් 170 දක්වාත් වැඩි වනු ඇති.
එමෙන්ම කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා තුන්වන පන්තියේ පැවති ගාස්තුව රුපියල් 105 සිට 135 දක්වා වැඩි කර තිබෙනවා.
කොළඹ – කොටුවේ සිට මහනුවර දක්වා තුන්වන පන්තියේ පැවති රුපියල් 110 යේ ගාස්තුව වැඩිකර ඇත්තේ රුපියල් 30කින්.
කොළඹ කොටුවේ සිට යාපනය දක්වා පැවති රුපියල් 320ක ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් 350 දක්වා වැඩි වනු ඇති.
වසර 10 ක පමණ කාලයකින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුනොවූ අතර, ගාස්තු වැඩි කිරීම ප්‍රමාද වීම නිසා පසුගිය වසරේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 670ක පාඩුවක් සිදු වුණා.