Gossips

තෙල් සංස්ථාවට එරෙහිව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නඩු

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ තීරය අපවිත්‍රවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඒ අනුව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සංකීර්ණයට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් සිදුකළ බවයි එම අධිකාරියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුව හේතුවෙන් දික් ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වුණා.
ඊයේ දිනයේ මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටියා.
මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඊයේ පස්වරුවේ එම කටයුතු නතර කෙරුණු අතර, අද පෙරවරුවේ යළිත් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා තවත් දින දෙකක කාලයක් ගතවන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග ප්‍රකාශ කළේ.