Gossips

ගලේවෙල පෙරහරකදී ඇතෙකු කුලප්පු වී 10 ක් රෝහලේ – 3කට බරපතලයි

ගලේවල ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (08) රාත්‍රීයේ වීථි සංචාරය කරන අතරතුරදී ගිනි අඟුරක් පෑගීමෙන් කරඬුව වැඩමවූ ඇතා කුලප්පු වී තිබෙනවා.
එහිදී කළබලයට පත්ව දිවයෑම හේතුවෙන් සිදුවූ අනතුරුවලින් හිමිනමක් ඇතුලු දසදෙනෙකු තුවාල ලබා ගලේවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, බරපතල තත්ත්වයේ පසුවූ තුන්දෙනෙකු දඹුල්ල දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා තිබෙනවා.
රාත්‍රී 08 ට පමණ වීථි සංචාරය ඇරඹි පෙරහර ගලේවල – මාතලේ මංසන්ධිය පසුකර යන අතරතුරදී කරඬුව වැඩමවූ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා හස්තියා, ඇත්ගොව්වාට පහරදීමට උත්සාහ කර තිිබුණා.
එහිදී ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පන්දම්කරුවෙකු කලබලයට පත්ව දිවයෑමට උත්සාහ කරන අතරතුර ඔහු බිම ඇද වැටී ඇති අතර, පසුව එම පන්දමේ ගිනි අඟුරු පෑගීම හේතුවෙන් ඇතා කුලප්පු වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් සඳහන් කළේ.
කුලප්පු වූ හස්තියා කරඬුව ද සමඟ මාර්ගය පුරා දිවයෑමේදී ලොරි රථයක්, ත්‍රිරෝද රථ දෙකක් ඇතුලු රථවාහන කිහිපයකටම අලාභහානි සිදුව තිබෙනවා.
ඇතා කුළප්පුවීමත් සමඟ පෙරහර වීථි සංචාරය කිරීම නවතා දැමීමටයි සංවිධායකයින් කටයුතු කරනු ලැබුවේ.