Gossips

බැංකොක් හිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු,ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර

තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සාලිය පෙරේරා දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාශය පවසනවා.
එහි උසස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා තායි බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. සාලිය පෙරේරා තායිලන්තයේ බැංකොක් නුවර දී ඊයේ අත්අඩංගුවට ගැනුණා.
බැංකොක් පොලීසිය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු ලැබූ සැකකරුවෙකු බව තහවුරු වී ඇති බවයි.
ඔහු වසර 4කට පෙර තායිලන්තයට පළා ගොස් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.
සාලිය පෙරේරා අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන ලෙස ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දීමක් කර තිබුණේ ශ්‍රී ලංකාවෙන්.
ඒ අනුව තායිලන්ත සංක්‍රමණික කාර්යාංශය, සංචාරක පොලීසිය සහ විශේෂ මෙහෙයුම් ඒකකය එක්වී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කළ බව තායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
2013 වසරේ සංචාරක වීසා මත බැංකොක් නුවරට ගොස් ඇති ඔහු 2016 වසර වන තුරු සිය ගමන් බලපත්‍රය අලූත් කරගෙන තිබෙනවා.
එහෙත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පසු ඔහු එලෙස ගමන් බලපත්‍රය අලූත් කිරීම නතර කර ඇති බව සදහන්.
සාලිය පෙරේරා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිය හැකි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී තිබුණේ යැයි බැංකොක් පෝස්ට් පුවත්පත සඳහන් කළා.