Gossips

බස්නාහිර පළාත් සභාවේ පුටු ප්‍රශ්නයට අමතරව දොරක ගැටළුවක්

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයෙහි ප්‍රධාන දොර ඉදිකිරීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් තමන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසීමක් කළද ඔහු ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සඳහන් කළේ.
අධික වියදමක් දරා ඇති මෙම දොර රන් පැහැයෙන් යුක්ත වන අතර, කෝට්ටේ යුගයේ කැටයම් යොදා අලංකාර කර ඇති බවත්, වාර්තාවනවා.
කෙසේ වෙතත් ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා අප බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
මේ අතර බස්නාහිර පළාත් සභාව සඳහා එක් පුටුවක් රුපියල් හයලක්ෂ 40,000 වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීම පිළිබඳවද පසුගියදා කථාබහට ලක්වූ අතර, එය තාවකාලිකව අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පියවර ගත්තා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටු වාර්තාව ආණ්ඩුකාරවරයාට ලබාදුන්නද එහි අඩුපාඩු පවතින බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර සඳහන් කළේ.
එමෙන්ම බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වෙන සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂක කැමරා සහ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධති ස්ථාපිත කිරීමේදී රුපියල් මිලියන 37ක වංචාවක් සිදුව ඇති බවට ද ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා චෝදනා කළා.