Gossips

මහරගම ඝාතනයේ තවත් තොරතුරු හෙළිවේ

මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ අලූයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තරුණයා කිසියම් පිරිසක් විසින් එම ස්ථානයට කැදවා ඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මිය ගිය තරුණයා කිහිප දෙනෙකුගෙන්ම මහරගම ප්‍රදේශයට යන මාර්ගය අසා ඇති අතර, ඔහු කවුරුන් විසින් හෝ එම ස්ථානයට කැදවා විත් ඝාතනය කරන්නට ඇති බවටයි පොලීසිය විශ්වාස කරන්නේ.
මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කැපුම් තුවාල සහිත මළ සිරුරක් ඇති බවට ප්‍රථමයෙන් දැක තිබුණේ ත්‍රිරෝද රථ රියදුරෙක්.
අදාළ පුද්ගලයාගේ දෑත් මැණික් කටුව ආසන්නයෙන් කපා වෙන් කර ඇති අතර, දකුණු අතේ එක් ඇගිල්ලක් හමුවී තිබුණේ එම තරුණයා මිය ගිය ස්ථානයට මීටර් 6ක් පමණ දුරින්.
උදරයේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල දක්නට ලැබුණු අතර, මුහුණ හඳුනා ගත නොහැකි ආකාරයට විකෘති වන සේ ආයුධයකින් තුවාල සිදුකර තිබූ බව සඳහන්.
සිරුර ආසන්නයේ ආරක්ෂක හිස් වැස්මක් සහ පාවහන් යුගල් 2ක් ඇති බවට පොලීසිය නිරීක්ෂණය කර තිබුණා. ඉන් එක් පාවහන් යුගලක් ඝාතනයට ලක්වූ තරුණයාගේ වන අතර අනෙක් පාවහන් යුගල ඝාතනය සඳහා පැමිණි අයෙකුගේ වන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
කිසියම් කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
විහාරස්ථායේ දොරටුවේ ආරක්ෂක කැමරා සවි කර තිබුණ ද මසක පමණ සිට එම කැමරා ක්‍රියා විරහිතව පවතින බව විහාරස්ථානයේ හිමිවරුන් ප්‍රකාශ කර තිබුණා.
මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති පරිදි ඝාතනයට ලක්වූ තරුණයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 22ක්.
පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා ද කලකට ඉහත දී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති අතර, යම් සිද්ධියක් මුල් කර ගනිමින් මවට ද පසුගිය දිනෙක පිරිසක් පහරදීමක් සිදුකර ඇති බවයි.
අදාළ ඝාතනය එම සිද්ධියේ දිගුවක් වන්නට ඇති බවටත්, ඝාතනයට ලක්වූ තරුණයා ද කිසියම් කණ්ඩායමක් සමඟ කලක සිට ආරවුලක් ඇති කරගෙන තිබූ බවට ද පොලීසිය පවසනවා.
මේ අතර, ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් ඊයේ පස්වරුවේ මහරගම පොලිස් ස්ථානයට පැමිණි අතර එහිදී ඔවුන්ගෙන් ප්‍රකාශ ද සටහන් කර ගනු ලැබුවා.