Gossips

ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙසක්

ජනතාව වෙනුවෙන් ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
සංවර්ධන වැඩපිළිවෙලේ කිසිදු පසුබෑමක් ඇති වීමට ඉඩ නොතබන ලෙසටයි අමාත්‍යංශ ලේකම්වරුන් සමග අද දහවල් පැවති හමුවකදී ජනාධිපතිවරයා කියාසිටියේ.
මැතිවරණයෙන් පසු ඇතිවී තිබෙන පසුබිම සමග ඇතැම් අමාත්‍යංශවල කටයුතු සිදු නොවන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළකළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය කිසිසේත් වෙනස් නොවන බවයි.
මැතිවරණයකින් පසු දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්වයන් නොසලකා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ඉලක්ක වෙත සාර්ථකව මෙහෙයවීමේ වගකීම අමාත්‍යංශ ලේකම්වරුන්ට පැවරෙන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේ.
එම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික වශයෙන් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීමට තමන් ඉදිරියේදී සෑම අමාත්‍යංශයක් වෙතම පැමිණීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ඉදිරි නියං තත්වයට මුහුණ දෙමින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග කෘෂි ක්ෂේත්‍රයේ සහ ආහාර නිශ්පාදන වැඩපිළිවෙල තුල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ මෙරට විශ්ව විද්‍යාලවල භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයින් ඇතුලු ප්‍රවීණයන් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
පොල් මිල සම්බන්ධව පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙැනු අතර පොල් ඉඩම් කැබලි කිරීම සහ ඉඩම් කැබලි කිරීමේ පනතට අදාළ නීති උල්ලංඝණය කරන පිරිස්වලට එරෙහිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.