උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ලබන 18 වන දා අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, අධිකරණයට අපහාස කළ බවට ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදියි. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා හමුවේ පෙත්සම විභාගයට ගැනුණා.
එහිදී උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි ශෂිදරන් සහ සී. ශිවනේෂන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේ පසුගිය ජුලි මස 29 වන දා කළ නියෝගයකට අනුවයි.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඞී. ඩෙනීෂ්වරන්, විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අභියාචනාධිකරණ නියෝගයට අනුව යළිත් තමන් තනතුරේ පිහිටුවීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව පවසමින්.
ඒ අනුව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙත්සමේ දැක්වෙනවා.
සී.වී. විග්නේෂ්වරන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.
ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 18 වන දා යළි කැදවීමට නියමිත අතර, එදිනට යළි අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි වගඋත්තරකරුවන්ට නියෝග කළේ.