Gossips

කොළඹ ජලය අවදානමක

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනයට, අත්‍යාවශ්‍ය කටයුතුවලට අමතරව, වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තුව ආදී කටයුතුවලට පිරිපහදු කළ නල ජලය භාවිතා කිරීම හැකි තරම් සීමා කරන ලෙසයි එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ.
මේ වනවිට අවශ්‍ය තරම් බෙදා හැරුණ ද කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත උස් ස්ථානවලට ජල සැපයුමට බාධා මතුවී ඇත්තේ පරිභෝජනය කරන ජල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්. එය අඛන්ඩව පැවතුණහොත් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව සදහන්.
එසේම, මේ වනවිට රජරට වැව් රැසක ජල මට්ටම ද පහළ ගොස් තිබෙනවා. කලාවැවේ ජල මට්ටම සියයට 29 යි දශම 2 ක් දක්වා අඩුවී ඇති අතර, නුවරවැවේ ජල මට්ටම සටහන් වන්නේ 8 යි දශම 7 ක් ලෙසයි.
තිසාවැවේ ජල මට්ටම ද 10 යි දශම 8 දක්වා පහත බැස තිබෙනවා.
ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල ජලාශ වල ජල මට්ටම ද පහළගොස් ඇති අතර, සමනළ වැව සහ උඩවලව ජලාශ ද දැනට පවතින්නේ පහළ ජල මට්ටමකයි.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 87 ක් ලෙස සටහන් වුවත්, රන්ටැඹේ සහ බෝවතැන්න ජලාශවල ජල මට්ටම පහත බැස තිබෙනවා.
වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලටයි.
බොහෝ ප්‍රදේශවල ජනතාව ඇසුරුම් කළ ජල බෝතල් මගින් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
එසේම, එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලට ද මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
වාරිමාරිග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අඛන්ඩව වියළි කාලගුණය පැවතියහොත් වගා ජලය නිකුත් කිරීමේ ගැටලූ මතුවිය හැකි බවයි.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසය අවසානයේදී වැසිවාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි.