Gossips

එජාපය රෙගුලාසි වෙනසකට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනබලය වියැකී ගොස් ඇති බව ඊයේ පෙන්නුම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින්.
මෙවර එහි තේමාව වූයේ ‘‘වැඩ කරපු, වැඩ කරන 72’’ යන්නයි.
සිංහල මහා සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය එක්ව ජාති ආගම් භේදයකින් තොරව ගොඩ නැගූ නව දේශපාලන බලවේගයක් ලෙස මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ නායකත්වයෙන් 1946 වසරේ අදවන් දිනක එක්සත් ජාතික පක්ෂය බිහි වනවා.
ඒ අනුව, පක්ෂ ඉතිහාසයේ නොමැකෙන ජයග්‍රහණ ලඟාකර දුන් දිවංගත නායකයින්ට පුෂ්පෝපහාර දක්වමින් අදත් සංවත්සර සැමරුම ආරම්භ වුණා.
සංවත්සරය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙලෙස අදහස් පල කළා.
‘‘අපි ආණ්ඩුවක් හදන්නේ ප්‍රශ්න ටික විසඳන්න. ඒ විසඳන්නේ නැතිව ප්‍රශ්න වැඩි වෙන එක නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. යහපාලනය කියන්නේ ගෙදර ඉන්න එකාට වැඩිය, අල්ලපු ගෙදර ඉන්න එකා රජ කරන එක නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒ දරදිය ඇදපු අලිය තමයි, ඒ අලි පෙරහරේ එවන්න අවශ්‍ය වෙන්නේ. අපේ වැරදි නිවැරදි කොට, අපේ අඩු පාඩු නැති කරගෙන, අපේ විවේචන ඉවත් කරගෙන, අපි අලූතින් හිතන්න තියෙන අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ.’’
එක්සත් ජාතික පාක්ෂිකයින්ට ආණ්ඩුවේ ඉතිරි කාලය තුළ වරප්‍රසාද ලබාදිය යුතු බවයි සංවත්සරය අමතමින් නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ.
‘‘රාජ්‍ය බලය කියන ඒ බලවත් හැන්ද අතේ තිබෙන මොහොතේ, අපි අපේ සමාජ වගකීම, යුතුකම අපි ඉෂ්ට කරන්නට ඕනේ. දැන් ඉදිරි කාලය තුළ අපි අපේ පාක්ෂිකයා සුරකින්නට, ඔය රීති කොන්දේසි රෙගුලාසි ඔක්කොම ඉරලා දමලා අලූත් රෙගුලාසි සෙට් එකක් හදලා අපේ පාක්ෂිකයා සුරකින්නට මම විශ්වාස කරනවා ගරු අග්‍රාමාත්‍යතුමා දැනටමත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට පිඹුරුපත් සකස් කරමින් වැඬේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. අපි 72 වැනි උපන් දින දවසේ අපි අධිෂ්ඨානයක් ඇතිකරගමු, රටේ ඉදිරි ගමන් මග, රටේ ඉදිරි සංවර්ධන වැඩසටහන පිළිබඳව අඩුම ගණනේ මේ රටේ ලක්ෂයක් ගෝල්ෆේස් එකට ගෙනැල්ලා, ගාලූ මුවදොරට ගෙනැල්ලා අපි මුළු රටටම පෙන්වමු ජනබලය තියෙන්නේ කොතැනද කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.’’
සංවත්සරය ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.
‘‘පොහොට්ටුවේ ජන බලයත් නෑ, මාධ්‍යයේ පච බලයත් නෑ. එක්සත් ජාතික පක්ෂයයි, අපේ 72 වැනි සංවත්සරයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. අපි 2015 ආණ්ඩු බලය ලබාගත්තා, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැටියට නෙවෙයි, ජාතික ආණ්ඩුවක් හැටියට. මේ රටේ ප්‍රශ්න විසඳන්න. එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට ජයග්‍රහණය කරලා, මම අගමැති වුණා. මොකක්ද අපි භාර ගත්තේ. මං භාර ගත්ත, අපි භාරගත්ත කුඹුර ගැන මම කියන්ට වැඩක් නෑ. මේ කුඹුර ණය වෙලා, ණය වෙලා විකුණන්න කියලා හිටියේ. ඒ හිටපු පරණ එකා පැනලා ගියා ණය ගෙවන්න බැරිව. අවුරුදු ගාණක් වගා කරලා තිබුණ් නෑ. හිස් වෙලා තිබුණේ. අපි මේක භාර ගත්තා. හුඟක් අය හිතුවා මේක කරන්න බෑ කියලා. මේ කුඹුර වපුරන්න බෑ කියලා. මේ කුඹුර වගා කරන්න බෑ කියලා. අපි ණය ගත්ත බැංකුවලට මුහුණ දුන්නා. අපි ඒ වගේම ඉඩෝරයට මුහුණ දුන්නා, ගංවතුරට මුහුණ දුන්නා. තියෙන හැම එකටම මුහුණ දුන්නා. දැන් වපුරලා අස්වැන්න එන කාලේ. ඉතිං අපි අස්වැන්න නෙලා ගමු. පාක්ෂිකයන්ටත් දෙමු, රටටත් දෙමු.’’