Gossips

රාත්‍රි සත්‍යග්‍රහයෙන් පසු ඒකාබද්ධයේ විරෝධය අලුයම අවසන් – රැළියට එක්වූ පුද්ගලයෙකු හෘදයාබාධයකින් මරුට

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිස ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව ලෝටස් වටරවුමේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද අලුයම 1.15 ට පමණ අවසන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලූත්ගමගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයට පැමිණ එය නිල වශයෙන් අවසන් කරන බවට දැනුම්දීමත් සමඟ ඊට එක්ව සිටි පිිරිස විසිර ගිය බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
‘‘ජනබලය කොළඹට’’ විරෝධතා පාගමනට එක්වීම සඳහා ඊයේ පෙරවරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකින් ජනතාව කොළඹට පැමිණි අතර, විරෝධතාව පවත්වන ස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කර නොතිබීම හේතුවෙන් ඇතැම් ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
ඒ අනුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව, අලූත්කඬේ විශේෂ මහාධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථානවලට පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබූ අයුරු දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, ඊයේ දහවල් විරෝධතාවට පැමිණි පිරිස කොළඹ ස්ථාන කිහිපයකට එක්රැස්වීමෙන් අනතුරුව සංවිධායකයින් ප්‍රකාශ කළේ අවසන් රැලිය ලේක්හවුස් වටරවුම කේන්ද්‍ර කරගනිමින් පවත්වන බවයි.
ඒ අනුව ඊයේ පස්වරු 1.30 ට පමණ ලේක්හවුස් වටරවුම දෙසට ඔවුන් ගමන් ආරම්භ කළ අතර, විරෝධතාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් එක්වුණේ පිටකොටුව බෝධිය අසලින්.
එසේම, මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික පූජකවරුන්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඊට එක්වුණා.
පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද විරෝධතාවට එක්ව සිටියා.
මේ නිසා ලේක්හවුස් වටරවුම අවට මාර්ග රැසක් අවහිර ව පැවතියා.
අනතුරුව විරෝධතාකරුවන් ලේක් හවුස් වටරවුමට පැමිණ සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුනා.
අනතුරුව රාත්‍රියේ පන්දම් දල්වමින් ජනබලය කොළඹට විරෝධතාවට එක්ව සිටි පිරිස කොටුව ලේක්හවුස් සහ ලෝටස් වටරවුම් ආශ්‍රිතව විරෝධතාවයේ නිරත වූ අතර, ඉන් පසුවයි ඔවුන් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.
ඊයේ රාත්‍රි අටට පමණ එම ස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝටස් වටරවුමේ රැස්ව සිටි පිරිස ඇමතුවා.
රාත්‍රියේ විරෝධතාවට එක්ව සිටි පිරිස ගීත ගායනා කරමින් එම ස්ථානයේ රැඳී සිටි අතර, ඔවුන් වෙනුවෙන් අංගම්පොර සටන් සංදර්ශන ඇතුලු විශේෂාංග කිහිපයක්ද සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් සත්‍යග්‍රහය නිමකර පිටව යන අවස්ථාවේදී ඔවුන් රැගෙන ආ පුවරු, බෝතල් ඇතුලු අපද්‍රව්‍ය ඉවත්කරමින් මාර්ගය පිරිසිදුකරන ආකාරයද දක්නට ලැබුණා.
මේ අතර විරෝධතාව අතරතුර හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
39 හැවිරිදි මොහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම විරෝධතාව අතරතුර ලබාදුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාත්මිකතාවක් හේතුවෙන් 30 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් රෝහල් පොලීසිය සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.
මෙම පිරිස වීරකැටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටද වාර්තාවනවා.