Gossips

‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවට එරෙහි පොලිසි 3 ක ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට පවත්වන විරෝධතාවට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම් 3 ක් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
කුරුඳුවත්ත පොලිසිය මීට අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්.
එහිදී පොලීසිය අධිකරණයට දන්වා තිබුණේ මෙම විරෝධතාව අතරතුර කොළඹ මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස වැටලීමේ ප්‍රයත්නයක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුලූ 11 දෙනෙකු එම ක්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් එය වළක්වන ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට රැස්වීමට මෙන්ම අදහස් දැක්වීමටද අයිතිය පවතින බවයි.
එහෙත් එම අයිතිය උපයෝගී කරමින් කිසියම් පුද්ගලයෙකු මහජන පීඩාවක් ඇතිවන අයුරින් කටයුතු කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසිය සතු බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් ජනාධිපති නිල නිවස වැටලීම, මූලික අයිතිවාසිකමක් නොවන බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ දණ්ඩනීති සංග්‍රහයේ 114 /115 වගන්තිවලට අනුකූලව එය රජයට එරෙහි කැරළි ගැසීමක් ලෙස දැක්විය හැකි බවයි.
එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ගැනීම අවශ්‍ය නොවන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නම් මේ මොහොතේ වුවද ඔවුන් අත්ඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව කියා සිටියා.
ඒ අනුව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 106 වගන්තිය අනුව ඔවුන්ට එරෙහිව පොලීසිය ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් කුරුඳුවත්ත පොලීසිය ඉල්ලා සිටි නියෝගය ප්‍රතික්ෂේප කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැලිකඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක්ද අද ප්‍රතික්ෂේප කෙරුණා.
වැලිකඩ පොලීසියට අයත් දියත උයන ඔස්සේ පොල්දූව වටරවුමේ සිට ප්‍රධාන මාර්ගයට ඒකාබද්ධ විපක්ෂය පා ගමනකින් පැමිණ මහජන පීඩා ඇතිවන අයුරින් හැසිරීමට කටයුතු කරමින් සිටින බවටයි පොලීසිය එහිදී අධිකරණයට කරුණු දක්වා තිබුණේ.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මේ අතර කොල්ලූපිටිය පොලීසියද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතාවට එරෙහි නියෝගයක් ඉල්ලා තිබුණා.
ඒ, විරෝධතාව අතරතුර මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවීමෙන් මහජන සාමය කඩවිය හැකි නිසා විරෝධතාව වළක්වන ලෙස ඉල්ලමින්.
එම ඉල්ලීමද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.