Gossips

ශ්‍රී ලංකාව, චීන ණය උගුලේ උදාහරණයක් බවට ඇමරිකානු සෙනෙට් වාර්තාවක්

චීනය විසින් තුන් වන ලෝකයේ රටවලට ලබාදෙන ආධාර මගින් එම රටවල් ණය උගුලකට හසු කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව උදාහරණයක් බව ඇමරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.
ඩේවිඩ් පර්ඩියු, පැට්රික් ලේහි ඇතුළු ඇමරිකානු සෙනෙට් සභිකයන් 14 දෙනෙකු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ඉදිරිපත් කළ සංදේශයක මේ බව සඳහන්.
එහි පිටපතක් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් වෙත ද යොමු කර ඇති බව ද සඳහන්.
එමගින් මාතෘකා කරගෙන ඇත්තේ චීනය ලබාදෙන ණය මුදල් හේතුවෙන් පාකිස්තානය ණය උගුලකට සිරවීමේ අවදානම පිළිබදවයි.
සිය ගොඩබිම් සේද මාර්ගයේ මධ්‍යස්ථානයක් ලෙස පාකිස්තානයේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිවල චීනය මේ වන විට දැවැන්ත ආයෝජනයක් සිදුකර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක ණය මුදලක් ඉල්ලා ඇත්තේ චීන ණය උගුලේ ප්‍රතිඵලයක් ලෙස බව ඇමරිකානු සෙනෙට් සභිකයන් ප්‍රකාශ කළා.
ඊට උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව 2016 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අයදුම් කළ ඩොලර් බිලියන 1.5ක ණය මුදලයි.
චීනය මේ වන විට පාකිස්තානයේ ගවුදාර් වරාය සංවර්ධනය කරමින් පවතිනවා.
ඒ, අරාබි මුහුදට පිවිසීමේ මුවදොරක් ලෙසින්.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධනය කළේ ඒ ආකාරයටම බවයි ඇමරිකානු සෙනෙට් සභිකයන් පිරිස පෙන්වා දී ඇත්තේ.
හම්බන්තොට වරාය ණය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේදී චීනයටම වසර 99ක බද්දකට ලබාදුන්නා.
පාකිස්තාන වරායට ද එවැනි ඉරණමක් අත්විය හැකි බව ඇමරිකානු සෙනෙට් සභිකයන්, එරට රාජ්‍ය ලේකම්වරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කළා.