Gossips

මඩේ එරුණු සද්දන්තයින් හත්දෙනාගේ සිරුරු ගොඩගනී – පරිසරවේදීන්ට සැකයක්

පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමක මියගොස් සිටියදී හමුවූ වන අලි හත්දෙනාගේ සිරුරු අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා.
ඒ, පොළොන්නරුව වනජීවී කාර්යාලයේ සහ යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.
මෙම වන අලි හත්දෙනාගෙන් පස්දෙනෙකුගේ සිරුරු පසුගිය සෙනසුරාදා සොයාගත් අතර, අනෙක් සිරුරු දෙක හමුවූයේ ඊයේ දිනයේදියි.
අද එම සිරුරු ගොඩට ගැනීමේ අවස්ථාවට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමද එක්ව සිටි අතර, මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තාවී නොමැති බවයි එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වන අලි 7දෙනෙකු එකවර මෙලෙස වගුරු බිමකට වැටී මියයාම සැකයට තුඩුදෙන බවයි.
ගොඩට ගත් වන අලින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය කටයුතු මේ වනවිට වනජීවී පශු වෛද්‍යවරුන් එම ස්ථානයේදී පවත්වනවා.
එමෙන්ම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තවදුරටත් මෙම වගුරු බිමට වැටී මියගිය වන අලි සිටින්නේ දැයි සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේ.