Gossips

තරංගගේ නොදැවුණු ඉනිමෙන්, විස්සයි විස්සේ ජය කොළඹ

උපුල් තරංගගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ කණඩායම ඊයේ (02) සමත් සමත් වුණා.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය කොළඹ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ දඹුල්ල කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත්කරමින්.
ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02කදී කඩුලු 03 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.
ලකුණු 21 ක් රැස්කර සිටියදී, අශාන් ප්‍රියංජන්ගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා වෙත ලබාදුන් පහසු උඩපන්දුව අතහැරීමේ වාසිය ලබාගත් උපුල් තරංග මෙම තරගාවලියේ දෙවැනි ශතකය සිය නම ඉදිරියේ ලියා ගනිමින් පන්දු 53 කදී නොදැවී ලකුණු 104ක් රැස් කළා.
අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය උපුල් තරංග 53 කදී නොදැවී ලකුණු 104ට දැවැන්ත හයේ පහර 09 ක් සහ හතරේ පහර 06 ක් ඇතුළත් වුණා.
මෙම තරඟාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු තරඟ 06 කදී ලකුණු 414 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට හැකියාව ලැබුණා.
තරංගට අනගි සහයක් ලබාදෙමින් ඉනිම අවසන් වනතෙක් අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් ශෙහාන් ජයසූරිය පන්දු 22 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමඟින් ලකුණු 35 ක් රැස්කළ අතර සිවුවැනි කඩුල්ල සඳහා තරංග සමගින් එක්ව පන්දු 48 කදී නොබිඳුණු ලකුණු 90 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගුවා.
දඹුල්ල කණ්ඩායමේ නායක ඉසුරු උදාන පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද එය කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට අපොහොසත් වුණා.
තරඟාවලියේ දක්ෂම පිතිකරුවා සහ අවසන් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට උපුල් තරංග සමත්වූ අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට දඹුල්ල කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සමත් වුණා.
අවසන් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම වාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 163 ක් රැස් කළා.
සම්මු අශාන්ගේ පන්දුවක් හමුවේ දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 2 කට දැවීයාමත් සමගින් පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ ඩිල්රුවන් පෙරේරා තෙවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණියා.
මුහුණදුන් පළමු පන්දුවෙන්ම හයේ පහරකින් ලකුණු රැස්කිරීම ආරම්භකළ ඩිල්රුවන් පෙරේරා ඉතා අවාසනාවන්ත ලෙස දෙවැනි පන්දුවේදී ප්‍රියමාල් පෙරේරා කඩුල්ල වෙත එල්ල කළ පන්දුවකින් දුවද්දී දැවීයාමකට හසුවිය.
තෙවැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමඟින් පන්දු 15 කදී ලකුණු 27 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රමිත් රඹුක්වැල්ල සිවුවැනි කඩුල්ල සඳහා අශාන් ප්‍රියංජන් සමගින් එක්වද පන්දු 31 කදී ලකුණු 44 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.
දඹුල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව 92 ක් වනවිට අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රමිත් රඹුක්වැල්ල පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේයා.
හුදකලා සටනක නිරත වෙමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දැඩි උත්සහයක නිරතවූ රඹුක්වැල්ල, අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ නුවන් ප්‍රදීප් අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවීයන විට ලකුණු 57 ක් රැස්කර සිටියා.
පන්දු 40 කට මුහුණදුන් රඹුක්වැල්ලගේ ඉනිමට හයේ පහර 03 ක් සහ හතරේ පහර 07 ක් ඇතුළත් විය.
තරඟාවලිය ආරම්භයේදී දඹුල්ල කණ්ඩායමේ නායකයා වශයෙන් නම් කළ ද ආබාධ තත්වයක් හේතුවෙන් මූලික තරඟ සඳහා එක් නොවූ තිසර පෙරේරා අවසන් තරඟයට එක්වුවද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් පන්දු 7 කදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 4 ක් පමණයි.
ලකුණු 100 කට කඩුලු 6 ක් ලෙස පැවති දඹුල්ල ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය හසිත බෝයගොඩ සහ වනිඳු හසරංග හත්වැනි කඩුල්ල සඳහා පන්දු 39 කදී ලකුණු 59 ක් එක්කිරීමට සමත්වූණා.
හසිත බෝයගොඩ පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළ අතර වනිඳු හසරංග පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් රැස් කළා.
ජීවන් මෙන්ඩිස් ලකුණු 27 කට කඩුලු 2 ක් සහ අකිල ධනංජය ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල කණ්ඩායම සමඟින් පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් ඊයේ තරඟයට සහභාගී නොවන අතර උපුල් තරංග කොළඹ කණ්ඩායමත් ඉසුරු උදාන දඹුල්ල කණ්ඩායමත් මෙහෙයවනු ලැබුවා.