Gossips

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කෙරේ

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි අතර නිල හමුව ඊයේ (01) සවස පවත්වා තිබෙනවා.
නේපාලයේ ජනාධිපති මන්දිරය වන ශිතල් නිවාස් වෙත ගිය ජනාධිපතිවරයා එහිදී නේපාල ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ලූම්බිණියේ ගෞතම බුද්ධ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතුව කඩිනමින් සංවර්ධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එවිට ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඝෘජුවම පැමිණ ලූම්බිණිය වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් නේපාල ජනාධිපතිනිය මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ නේපාලය අතර නව අවබෝධතා ගිවිසුම් 02 කට අත්සන් තැබීම ද සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ අවබෝධතා ගිවිසුමට නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්ලිව්.එස්. පෙරේරා අත්සන් තබා ඇති අතර තරුණ සංවර්ධනය වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්ලිව්.එස්. පෙරේරා සහ නේපාල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්සන් තබා තිබෙනවා.