Gossips

පාන් මිල ගැන තීන්දුවකට බේකරි හිමියන් හෙට රැස්වේ

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නංවන බවට තිරිගු පිටි නිෂ්පාදන සමාගම් මේ වනතෙක් ලිඛිතව දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ හෙට රැස්වන බේකරි හිමියන්ගේ කමිටු රැස්වීම පවත්වන අවස්ථාවේදී තිරිඟු පිටි ඉහළ දමා තිබුණහොත් පාන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට සූදානම් බවයි.
මිල ඉහළ දැමූ බවට වාර්තා පළ වුවද, වෙළදපොල තුළ මේ වනවිටත් තිරිගු පිටි අලෙවි වන්නේ පැවති මිල ගණන් යටතේ බැවින් මිල ඉහළ දැමීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොත්තුවක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ.