Gossips

නීති විද්‍යාලයේ විදුහල්පතිනිය කාර්යාල අඩස්සියේ

නිළවරණයකදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිනිය පැය 22 ට අධික කාලයක් සිසුන් විසින් කාර්යාල අඩස්සියට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 5ට පමණ මෙලෙස කාර්යාලයේ රඳවා ගත් විදුහල්පතිනිය විද්‍යාලයෙන් පිටව ගියේ අද පස්වරු 3.30ට පමණ.
නීති විද්‍යාලයට ශිෂ්‍ය සංගමයේ සහ නීති ශිෂ්‍ය සිංහල සංගමයේ වාර්ෂික නිළවරණය ඊයේ එම විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ඊට ප්‍රගතීශීලි සහ ස්වාධීන ලෙස කණ්ඩායම් දෙකක් ඉදිරිපත්ව සිටියා.
කෙසේවෙතත්, නීති ශිෂ්‍යයින් පිරිසක් මෙම ඡන්ද විමසීම දූෂිත බවට චෝදනා කර ඇති අතර ඔවුන් අදාල නිළවරණය නැවත පවත්වන ලෙසට නීති විද්‍යාලයේ විදුහල්පතිනී ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මියගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
ඔවුන් විදුහල්පතිනියට කාර්යාලයෙන් පිටව යාමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට බලපෑම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රීයේ විද්‍යාලය ඉදිරිපිට නවතා තිබූ ඇගේ මෝටර් රථය පිටතට ගැනීමට නොහැකි වන ලෙසට තවත් මෝටර් රථයකින් අවහිර කර තිබුනා.
අද පෙරවරුවේ අප එම ස්ථානයට යන විටත් විදුහල්පතිනියගේ මෝටර් රථය එලෙසම තිබෙන ආකාරය දක්නට ලැබුණා.
කෙසේවෙතත් මේ පිළිබඳව තොරතුරු ලබාගැනිමට හෝ විදුහල්පතිනිය හමුවිම සඳහා නීති විද්‍යාලය තුලට යාමට මාධ්‍යයට අවසර නොලැබුණු අතර විද්‍යාලයට පොලිස් ආරක්ෂාවද සපයා තිබුණා.
මේ අතර ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතාද නිති විද්‍යාලයට අද පෙරවරුවේ පැමිණි අතර, එහිදී පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ හෙට පෙරවරුවේ නීතිඥ සංගමය සිදු කරන පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයකට එළඹීමටයි.
ඒ අනුව පැය 22 හමාරක කාලයක් කාර්යාල අඩස්සියේ සිටි නීති විද්‍යාලයේ විදුහල්පතිනිය අද පස්වරු 3.30ට පමණ ඉන් පිටතට පැමිණියා.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිනී ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මියගෙන් විමසීමක් කළා.
ඇය සඳහන් කළේ අගවිනිසුරුවරයාගේ උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවයි.