Gossips

ඉන්දීය ධීවරයින් 109 කට නිදහස හිමිවන ලකුණු

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු අද (16) දිනයේදී නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ඉල්ලීම මත ඉන්දීය මධ්‍යම රජය ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකර ඇති බවයි එමගින් සඳහන් කළේ.
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍ය උත්සවය පෙබරවාරි 23 වනදා සහ 24 වනදා පැවැත්වෙනවා.
ඒ සඳහා වාර්ෂිකව දහස් සංඛ්‍යාත ඉන්දීය ධීවරයින් පිරිසක් ද එක්වීමට නියමිතයි.
ඊට පෙර මෙරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇත්තේ.
අදාළ ධීවරයන් 109 දෙනා යාපනය බන්ධනාගාරයේ රඳවා ඇති අතර ඔවුන් අද(16) කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ සඳහන් කළේ ධීවරයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින්නේ දැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ බවයි.
ඒ සඳහා විරෝධයක් නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ද ඔහු කියා සිටියා.