Gossips

ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක විවාදයකට එන්නැයි මන්ත්‍රී විමල්ගෙන් ඇමති සජිත්ට ඇරයුම්

උදා ගම්මානයක නොව ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක තමන් සමග විවාදයට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිධන් වස්තු බහුල ප්‍රදේශවල ඉදිකළ උදාගම්මානයක ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පසුගිය 25 වැනි දින ජනහමුවක් අමතමින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අභියෝග කළා.
එම අභියෝගය භාරගනිමින් පසුගිය 27 වැනිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ විවාදය තමන් ඉදිකළ උදා ගම්මානයක පැවැත්විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ ප්‍රමාදවී හෝ තමන්ගේ අභියෝගයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළකරන බවයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් නිධන් වස්තු බහුල ප්‍රදේශවල ඉදිකළ උදා ගම්මානයක රාත්‍රී කාලයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සමග විවාදයක් පැවැත්වීම ප්‍රායෝගික නොවන බව ඔහු පවසනවා.
එමෙන්ම හරවත් කාලීන දේශපාලන සංවාදයක් ලෙස පෞද්ගලික රූපවාහිනී නාළිකාවක මෙම විවාදය පැවැත්වීමට මන්ත්‍රීවරයා යෝජනා කර තිබෙනවා.