Gossips

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය"
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එම යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කැමැත්ත පළ කළ බවයි සාකච්ඡාවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ.
අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් එක්ව සිටියා.
මෙම සාකච්ඡාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ජනාධිපති නිල නිවසට ගොස් තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සහය දෙන බව ජනපතිට දැනුම්දුන් බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්ද අද දහවල් පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.