Gossips

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට මාතා දෙවගනගේ පිළිමය හමුවෙයි

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට වසර දහයකට පසුව ඔවුන්ගේ දේවස්ථානයක තිබූ ''මාතා දෙවගනගේ'' පිළිමය කැළයකින් හමු වී තිබෙනවා.
මුහමාලේ ඇතුළු ප්‍රදේශයේ යුද ගැටුම් ඉතා බහුලව තිබූ කාලයේදී දේවස්ථානයද විනාශ වී ගොස් තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මුහමාලේ දේවස්ථානය තිබූ පළාතේ වැසියන් තවමත් ඔවුන්ගේ ඉඩම්වල පදිංචිය සදහා පැමිණ නොමැති අතර ඔවුන් වරින්වර තම ඉඩම් දැක බලාගෙන යාමට පැමිණෙනවා.
මෙම සතියේදී පිරිසක් ඉඩම් බැලීමට පැමිණි අවස්ථාවේදී කැළෑවක යමක් තිබෙනු දැක එය විපරම් කිරීමේදී ඔවුන්ගේ දේවස්ථානයේ තිබූ ''මාතා දෙවගනගේ'' පිළිමය බවට හදුණාගෙන එය පරෙස්සමෙන් කැළයෙන් එළියට ගෙන තිබෙනවා.
පිළිමය තැබීමට සුදුසු ස්ථානයක් ඉදිකෙරෙන තුරු ඒ පිළිමය ගසක් මුල තබා පුද පූජා පැවැත්වීමට මුහමාලේ වැසියෝ තීරණය කොට ඇති බවයි සඳහන් වන්නේ.
කිළිනොච්චියේ මුහමාලේ පළාතේ වැසියන්ට යළි පදිංචිය සදහා තවමත් අවසර ලැබී නොමැත්තේ ඒ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින්.