Gossips

ජාතික රෝහලේ එක්රැස්වූ සායනික අපද්‍රව්‍ය ඉවත් කෙරේ

කොළඹ ජාතික රෝහලේ එක් රැස් වී ඇති සායනික අපද්‍රව්‍ය තාවකාලිකව ජයවර්ධනපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේදී විනාශ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට මුතුරාජවෙල ප්‍රදේශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ඉඩමක් ද ලබාගත් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
කොළඹ ජාතික රෝහලේ එක්රැස් වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම හේතුවෙන් මහජන පීඩාවක් ඇති බවට ඊයේ මාධ්‍ය මගින් වාර්තා කළ තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ඔහු පෙන්වා දුන්නේ මීට පෙර බස්නාහිර පළාතේ රෝහල්වල එක් රැස් වන සායනික අපද්‍රව්‍ය පෞද්ගලික සමාගමක් විසින් මුල්ලේරියාව මුලික රෝහල් භූමියේ ස්ථානයකදී විනාශ කෙරුනු බවයි.
එහෙත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් හේතුවෙන් එම ස්ථානයේ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීම තහනම් කර තිබෙනවා.
කෙසේවෙතත් ඉන් මහජන පීඩාවක් හෝ පරිසර විනාශයක් සිදු නොවන බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධිකරණයට දැනුම්දී තිබුන ද ලබාදී ඇති නඩු තීන්දුව හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ.
මේ වන විට සායනික අපද්‍රව්‍ය ඉවත් කරන සමාගම විසින් එම අපද්‍රව්‍ය එක්රැස් කර තාවකාලිකව වෙනත් ස්ථානයක තැන්පත් කෙරෙමින් ඇති අතර මුතුරාජවෙල ප්‍රදේශයෙන් ලබාගත් ඉඩම සකස් කර ඒවා විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියාසිටියා.
එමෙන්ම තාවකාලික පියවරක් ලෙසට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී එම අපද‍්‍රව්‍ය විනාශ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියාසිටියේ.
කෙසේ වෙතත්, අදාළ සායනික අපද්‍රව්‍ය මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති අයුරු අද පෙරවරුවේ එහි ගිය අපට දැකගන්නට ලැබුණා.
දහස් ගණනක් ප්‍රතිකාර කටයුතු සඳහා දෛනිකව පැමිණෙන ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය මසක පමණ සිට ඉවත් නොකිරීමෙන් එම කසල එක්රැස් වී ඇති අයුරු අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.
ඒ, රෝගීන් සහ කාර්ය මණ්ඩලය මුහුණදී ඇති පීඩාවද හෙළිකරමින්.
ඉදිරියේදී වර්ෂාව ඇතිවුවහොත් දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු ගණනාවක්ද එම නිසා උද්ගතවිය හැකි බවයි රෝහල් සේවකයින් ප්‍රකාශ කළේ.