Gossips

ජනපති නේපාලයට ළගාවෙයි

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේපාලයට ළගාවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අද දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළගාවු බවයි.
නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුලු පිරිස පිළිගෙන තිබෙනවා.
නේපාල රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු අතර දෙරටේ ජාතික ගී ද වාදනය කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුලුව හෙට සහ අනිද්දා කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ "බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක්" බවට පත් කිරීම යන්නයි.
බිම්ස්ටෙක් සමුලුව යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලක්.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව තුලින් සෞභාග්‍ය උදාකර ගැනීමයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 31 වනදා සමුලුව ඇමතීමට නියමිතයි.
සමුලුවට සමගාමීව ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය කේ පී ඔ්ලි සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී දෙරටටම වැදගත් අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබෙනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ උදාකර ගැනීම වෙනුවෙන් සමුලුවට සහභාගී වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්වීපාර්ශවික සාකච්ඡාවලට එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.