Gossips

ගෝඨාභය, ලලිත් සහ පී.බී. ගෙන් ජනපති කොමිසම ප්‍රකාශ සටහන් කරගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අද පෙරවරුවේ ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණියා.
ඒ පසුගිය දා එම කොමිසම ඔවුන්ට නිකුත් කළ නොතීසියට අනුවයි.
උදෑසන 9 යි 15 ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් පැය දෙකකට ආසන්න කාලයක් එහි විමර්ශන නිලධාරින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත ප්‍රකාශ ලබා ගැනීම සඳහායි මෙම පිරිස කොමිසම වෙත කැඳවා තිබුණේ.
මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.
මේ අතර, මිහින්ලංකා ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වන සජින්ද වාස් ගුණවර්ධනට ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.