Gossips

ජනපති බිම්ස්ටෙක් සමුළුවට

බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
හෙට සහ අනිද්දා නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන මෙම සමුළුව සඳහා මියන්මාරයේ ජනාධිපතිවරයා මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ තායිලන්තය යන රටවල අග්‍රාමාත්‍යවරුන්ද එක්වීමටද නියමිතයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම සංචාරයේදී ලබන 01 වනදා නේපාල ජනාධිපතිනි බිද්‍යාදේවි බන්දාරි සහ අග්‍රාමාත්‍ය ඛඩ්ගා ප්‍රසාද් ඔලී මුණගැසෙනු ඇති.
එසේම නේපාල ජනාධිපතිනිය පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයකටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී එක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මීට අමතරව ජනාධිපතිවරයා ලබන 1 වනදා ලුම්බිණි නුවරට යාමට නියමිත අතර, සැප්තැම්බර් 2 වනදා කත්මන්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයට පැමිණ එහි පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහනකටද එක්වීමටයි නියමිතව ඇත්තේ.
තුන්වන බිම්ස්ටෙක් සමුළුව පසුගිය 2014 වසරේදී මියන්මාරයේ පැවැත්වුණා.
සාමකාමී බවෙන් සශ්‍රීකත්වයෙන් සහ තිරසර බවින් යුත් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයක් යන තේමාවෙන් යුත් සිව්වන බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රකාශනය සම්මත කරගැනීමට නියමිතයි.
මේ අතර වියට්නාමයේ හැනෝයි නුවර දී පසුගියදා පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (28) රාත්‍රී 11.55ට යළි දිවයිනට පැමිණියා.
ඊයේ සහ පෙරේදා පැවති මෙම සමුළුවේ ආරම්භක සැසියේදී අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා.