Gossips

කේරළයෙන් මතු වූ ප්‍රභාකරන්ගේ රුව ගැන පරීක්ෂණ ඇරඹේ

එල්.ටී.ටී.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ කොටි සංකේතයෙන් සැරසුණු ගං වතුර ආධාර රථ පෙළක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.
අදාළ ආධාර තොගය රැගෙන ආ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිතයන්ගෙන් කේරළ පොලීසිය ප්‍රශ්න කළ බවයි මනොරාමා නැමැති මලයාලි වෙබ් අඩවිය සඳහන් කළේ.
පසුව හෙළිදරව් වී ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදී නාම් තමිලර් නැමැති දේශපාලන පක්ෂය විසින් ඔවුන් මෙහෙයවා ඇති බවයි.
එම පක්ෂයේ නායකත්වය හොබවන්නේ දෙමළ සිනමාකරු සීමාන් විසින්.
මෙම ආධාර තොගය කේරළයේ කොට්ටායම් නගරයට සෙනසුරාදා රාත්‍රියේ ගොඩ බා ඇති අතර එය අධීක්ෂණයට සන්නද්ධ පොලිස් බල ඇණියක් ද යොදවා තිබෙනවා.
එමෙන්ම එම ස්ථානයට දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ද පැමිණි බවයි මනොරාමා වෙබ් අඩවිය සඳහන් කළේ.
ආධාර තොගය රැගෙන ආ ස්වේච්ඡා ක්‍රියාකාරීන් කොට්ටායම් පොලීසිය වෙත රැගෙන ඒමෙන් පසුව ද ප්‍රශ්න කර ඇති බව සඳහන්.
අදාළ සහනාධාර තොගය කේරළ බලධාරීන් විසින් බෙදා හැරීම සඳහා මුදා හැර ඇත්තේ බෝම්බ නිශ්ක්‍රීය අංශ සහ පොලිස් සුනඛයන් යොදවා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම ආහාර ආධාර වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂකයන් වෙත යොමු කර තිබෙනවා.