Gossips

පරාජයේ වගකීම, ඇමති ෆයිසර් භාර නොගනී

පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයවීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
සිය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තාවේ අඩුපාඩු රැසක් පැවති බවයි.
පළාත් සභා මැතිවරණය ද කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමේ අරමුණින් පළාත් සභා සීමානිර්ණ කමිටුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වන දායි.
5 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතීත්වය දරනු ලැබුවේ විශ්‍රාමික මිණුම්පති කනගරත්නම් තවලිංගම් විසින්.
එම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව පසුගිය පෙබරවාරි 19 වන දා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට භාර දෙනු ලැබූ අතර පසුව අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම වාර්තාව පසුගිය 24 වන දා ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අතර කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ නැහැ.
විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද ඊට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, පළාත් සභා සීමානිර්ණ කමිටුව සකස් කළ එම වාර්තාව සියයට සියයක්ම නිවැරදි බවයි එහි සභාපති කනගරත්නම් තවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ.
අමාත්‍යවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු එම වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 160ක පමණ මුදලක් වැය වූ බවයි කියා සිටියේ.