Gossips

මින්නේරියේ ධීවර විරෝධතාව අවසන්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරීන්ට පහර දුන් බවට අත්අඩංගුවට ගත් ධීවරයන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා අද පස්වරුවේ ධීවර විරෝධතාවක් පැවැත්වුණා.
මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී පැය 3කට අධික කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් හබරන – මින්නේරිය ප්‍රධාන මාර්ගය ද අවහිර වූ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මින්නේරිය වනෝද්‍යානයට අයත් මින්නේරිය වැවේ එක් කොටසක තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ දැල් ආම්පන්න ඊයේ රාත්‍රීයේ වනජීවි නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා.
එයට විරෝධය පළ කරමින් ධීවරයන් සහ ප්‍රදේශවාසීන් වනජීවි කාර්යාලය වැටලූ අතර එහිදී ගැටුම්කාරී තත්ත්වයක් මතුවුණා.
සිද්ධියෙන් වනජීවි නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් හබරන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.
ගැටුමට සම්බන්ධ ධීවරයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින බකමූණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමටයි වනෝද්‍යානය භාරකරු භාතිය මඩුගල්ල පියවර ගත්තේ.
කෙසේ වෙතත්, විරෝධතාවට එක්වූ ධීවරයන්ට වනජීවි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොලීසිය ලබාදුන් පොරොන්දුවක් මත විරෝධතාව අවසන් කෙරුණා.