Gossips

ජනපති අනිද්දා නේපාලයට – හිටපු ජනපති මහින්ද ඉන්දියාවට

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් හතරවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන අඟහරුවාදා නේපාලය බලා පිටත්ව යනවා.
කත්මණ්ඩු බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නේ බෙංගාල බොක්ක සාමකාමී, සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත් කිරීමයි. සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඔලි සහ ජනාධිපතිනි විද්‍යාදේවි බන්දාරි ද මුණගැසීමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිවරයා බුදුන් උපන් ලූම්බිණි නුවර සංචාරයක ද නිරතවනු ඇති.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්දින නිල සංචාරයක් සඳහා ලබන මස මුලදී ඉන්දියාව බලා නික්මෙනවා.
ඔහු ලබන සැප්තැම්බර් 11 වනදා සිට දින 3 ක් ඉන්දියාවේ රැඳී සිටින බවයි ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරතවන්නේ එරට ප්‍රවීන දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමිගේ ආරාධනයක් අනුවයි.