Gossips

නැදුන්ගමුවේ ඇත් රජු දළදා කරඩුව වැඩමවයි – ඉන්දිරාජා සහ වාසනා දෑලේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7 යි 58 ට යෙදෙන සුබ මොහොතින් ගමන් ආරම්භ වීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම්.
අද පෙරහර ගෙවදීමෙන් අනතුරුව හෙට පැවැත්වෙන දියකැපීමේ චාරිත්‍රය, දිවා පෙරහර ඇතුළු කටයුතුවලින් අනතුරුව පෙරහර අවසන් වූ බව ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම්දී මෙවර පෙරහර මංගල්‍යය අවසන් වනවා.
මේ වනවිටත් දළදා සමිදුන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට සහ පෙරහර නැරඹීමට විශාල බැතිමතුන් පිරිසක් මහනුවර පැමිණ අවසන්.
අද අවසන් රන්දෝලි පෙරහරේ දළදා කරඩුව වැඩම කරවන්නේ නැදුන්ගමුවේ රාජා හස්තියායි.
ඉන්දි රාජා සහ වාසනා දෑලේ ඇතුන් ලෙස පෙරහරට එක්වීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ.
අද දළදා කරඩුව වැඩම වන නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිබදව මෙහිදී සටහන් කළ යුතුමයි.
2006 වසරේ සිට අවසන් රන්දෝලි පෙරහරේදී දළදා කරඩුව වැඩම වන නැදුන්ගමුවේ රාජා හස්තියා 1953 වසරේදී ඉන්දියාවේ – මයිසූර් ප්‍රාන්තයේ උපත ලබනවා.
ඉන් වසර කිහිපයකට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන රාජා අද රටේ සම්පතක් බවට පත්ව තිබෙන්නේ මෙරට ජනතාව නැදුන්ගමුවේ රාජාට අසීමිත ගෞරවයක් සහ සෙනෙහසක් දැක්වීම හේතුවෙන්.
පිං ඇති හස්තියෙකු ලෙස සැලකෙන නැදුන්ගමුවේ රාජා පාගමනින්ම මහනුවරට පැමිණෙන්නේ කිලෝමීටර් 90 ක් දුර ගෙවමින්.
එම ගමන් මග පුරාවටම ජාති, ආගම්, භේද පසෙකලා මග දෙපස රැස්වන බොහෝ දෙනා නැදුන්ගමුවේ රාජාට පුද සත්කාර කරන්නේ එය මහා පිංකමක් ලෙස සලකමින්.
මෙවර දොලොස්වන වරට දළදා කරඩුව වැඩම වන නැදුන්ගමුවේ රාජා හස්තියාගේ භාරකරු වන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය ප්‍රකාශ කළේ නැදුන්ගමුවේ රාජා අද ජාතියේ සම්පතක් බවට පත්ව ඇති බවයි.
දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් නැදුන්ගමුවේ රාජා හස්තියාට තවත් චිරාත් කාලයක් දළදා කරඩුව වැඩම කරවන්නට නිදුක් නිරෝගි සුව ලැබේවා යන්න ජාතියේම ප්‍රාර්ථනයයි.