Gossips

මිලියන 70 ක ක්‍රීඩා භාණ්ඩ තොගයක් විනාශ වීමේ තර්ජනයක

මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ අතරේ බෙදාහැරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ආනයනය කළ රුපියල් මිලියන 70 ක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ තොගයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා.
මීට හේතු වී ඇත්තේ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවිධිමත් වැඩපිළිවෙළයි.
මෙම භාණ්ඩ නිසි කලට බෙදාහැරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම වගකීමක් වන අතර, ඔවුන් එය පැහැර හැරීම හේතුවෙන් මෙම උපකරණ බොහොමයක් මේ වනවිට ඇත්තේ භාවිතයට ගත නොහැකි තත්ත්වයකයි.
ගබඩා ලෙස භාවිත කරන කන්ටේනර් හතරට අමතරව ටොරිංටන් ක්‍රීඩාංගනයේ ගොඩනැගිල්ලක් සහ කෘතීම හොකි ක්‍රීඩාංගනයේ ගොඩනැගිල්ලක්ද ක්‍රීඩා භාණ්ඩ සහ උපකරණ ගබඩා කිරීම සදහා භාවිත කර තිබෙනවා.
එම උපකරණ තොගයට ද අත්ව ඇත්තේ ඉහත උපකරණවලට අත්වූ ඉරණමමයි.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද දහවල් මෙහි හදිසි නිරීක්ෂණයකට එක්වුණා.
නිසි උපකරණ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් ක්‍රීඩාව අත්හැර දමනා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් සිටිනා බව ප්‍රසිද්ධ රහසක්.
බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අලසකම හේතුවෙන් මෙලෙස විනාශ වන ක්‍රීඩා උපකරණ හෙට දවසේ ලොව ජයගන්නට වෙර දරනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණේ නම් කෙතරම් වාසනාවක්ද ?
ඇමතිතුමනි, එවන් පසුබිමක් තුළ මෙම ජාතික අපරාධය සිදුකළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට දඩුවම් ලබාදීම වචනයට පමණක් සීමා නොවිය යුතු බව අපගේ විශ්වාසයයි.