Gossips

පක්ෂ නායකයින්ගේ තීරණය හෙට

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් හෙට රැස්වී තීරණය කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.
අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් හෙට පෙරවරු 11 සිට පස්වරු 06 දක්වා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිත බවයි.
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත්, හෙට පැවැත්වෙන සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්.
ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කම්කරු පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ දෙමල ප්‍රගතිශීලි සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නව ඡන්දය ක්‍රමයටත්, ඊට අදාළ සීමා නිර්ණ වාර්තාවටත් එරෙහිව ඡන්දය ලබාදෙන බව පවසනවා.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.