Gossips

එක පීල්ලේ ගිය චීන දුම්රිය දෙක ගැන පරීක්ෂණ

දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන සාකච්ඡාව තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.
දුම්රිය පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන් සහ රියදුරන් නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයන් මේ වනවිටත් එම සාකච්ඡාවට සහභාගිවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටින බවයි වාර්තාවන්නේ.
පසුගියදා වර්ජනයට තුඩුදුන් දුම්රිය ක්‍ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළේ.
මේ අතර ඊයේ අනුරාධපුර – ශ්‍රාවස්ථිපුරදී එකම පීල්ලේ මුහුණට මුහුණ දුම්රිය දෙකක් ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
ඊයේ පස්වරු දෙකට පමණ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මැදවච්චියේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය සහ කොළඹ – කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය දෙක එකම පීල්ලේ මුහුණට මුහුණ ගමන් කර තිබුණා.
එම අවස්ථාවේ දැඩි පරිශ්‍රමයකින් පසු හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් පසු රියදුරන් දුම්රිය නවත්වාගෙන තිබූ අතර, එසේ නොවූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩකඩ තිබූ බවයි වාර්තාවන්නේ.
මෙලෙස එකම පීල්ලේ ධාවනය කර තිබුණේ චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි කට්ටල දෙකක්.
දුම්රිය රියදුරන් සහ තාක්ෂණ ශිල්පීන් පවසන්නේ මෙම චීන මැදිරි කට්ටලවල පවතින තිරිංග දෝෂ හේතුවෙන් දුම්රිය සංඥාවලට අනුව ක්‍රියාත්මක වීමේ අපහසුතාවක් පවතින බවයි.
ඊයේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී යාල්දේවි දුම්රියට ලබාදුන් සංඥාව ක්‍රියාත්මක කිරීමට කල්වේලා ගතවීම හේතුවෙන් අනතුරක් සිදුවීමට ගිය බවටද ඔවුන් චෝදනා කරනවා.
මෙම චීන දුම්රිය මැදිරි මෙරටට ගෙන්වා ඇත්තේ 2008 වර්ෂයේදියි.
මැදිරි 100 ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, මීට පෙර දුම්රිය තාක්ෂන ශිල්පීන් තාක්ෂණික වාර්තා 3ක් මගින් අදාළ දුම්රිය ධාවනය කළ නොහැකි බව පෙන්වාදී තිබෙනවා.
ඉන් අවසන් වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත භාරදී ඇත්තේ මීට මාස 5 කට ඉහතදියි.
එසේ අනතුරුදායක තත්ත්වයක් තිබියදිත් දුම්රිය ගමන් වාර අවලංගුවීම වළක්වාගැනීම සඳහා මෙම චීන දුම්රිය මැදිරි කට්ටල ධාවනය කිරීමට බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
සාමාන්‍යයෙන් හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමකදී දුම්රියක් මීටර 700ක පමණ දුර සීමාවක් තුළ නවත්වාගැනීමට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් මෙම චීන මැදිරි කට්ටල සවිකරන ලද දුම්රියක් හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමකදී කිලෝමීටර 2 කට වැඩි දුරක් නොනවත්වා ධාවනය වන බවයි තාක්ෂණ ශිල්පීන් සිය වාර්තාව මගින් පෙන්වාදී ඇත්තේ.
පැයට කිලෝමීටර 80 ක පමණ වේගයකින් ධාවනය කරන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් සිදුවුවහොත් බිහිසුණු අනතුරක් සිදුවිය හැකි බවටයි ඔවුන් මාස 5 කට පෙර නිකුත් කළ වාර්තාව මගින් අනතුරු අඟවා ඇත්තේ.
මීට සති කිහිපයකට පෙර පොල්ගහවෙල – පනලිය ප්‍රදේශයේදීද දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා.
එම අවස්ථාවේද අනතුරට ලක්ව තිබුණේ මෙවැනි චීන මැදිරි යෙදවූ දුම්රිය දෙකක්.