Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාවට ඒකාබද්ධය එරෙහි වෙයි

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම වාර්තාවට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ ඡන්දය විමසීමේදී පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වුවහොත් ඊට විකල්පයක් පවතින බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ද හෙට පැවැත්වෙන විවාදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.