Gossips

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන සොයන ජනපති කොමිසමෙන් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු 4කට නොතීසි

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවන බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසන් සභාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ගුවන් සමාගම් වල සිදු කරන ලැදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසන් සභාව විසින් මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.
මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇත්තේ මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්.
ඒ අනුව නිශාන්ත වික්‍රමසිංහට සහ කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ට හෙට දිනයේත් හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයාට අනිද්දාත්, හිටපු ආරක්ෂක ලේකම් වරයාට ලබන 29 වෙනිදාත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.
මේ අතර මෙම කොමිසන් සභාවේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීම සඳහා, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ එහි පැමිණියා.