Gossips

අන්තරේ විරෝධතාවට යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (ඡායාරූප)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය දෙවන වරටත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.
ඒ කොළඹ ලිප්ටන් වටරවුමේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග්‍රහයේ නිරත ස්ථානය අසළටයි.
විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටළු විසඳීමට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින්.
ඔවුන් වෝඩ් පෙදෙසට ඇතුලූ වී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දෙසට ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේදියි පොලීසිය පළමු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළේ.
අනතුරුව සිසුන් සත්‍යග්‍රහය පැවති අට්ටාලය අසළට රැස්වී සිටි අතර, නැවතත් ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියා.
මේ අතර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක සහ සිසුන් තුන්දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශිකාවක සඳහන් කළා.