Gossips

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට (ඡායාරූප)

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා දින 03ක සංචාරයක් සදහා ඊයේ (20) රාත්‍රියේ මෙරටට පැමිණියා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.
ඔහු සමඟ 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබෙනවා.
මෙම පිරිස පිළිගැනීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා ද ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා සිය සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මුණ ගැසෙන අතර, හම්බන්තොට වරායේ චාරිකාවක නිරතවීමට ද නියමිතයි.
හම්බන්තොට වරාය චීනය වෙත පැවරීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එහි සංචාරය කිරීම විශේෂත්වයක්.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ සාමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගීතාවකට එළඹීමයි.
සිය සංචාරය තුළදී ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට මීටර 30ක් දිග මුර සංචාර යාත්‍රාවක් පිරිනමනු ඇති.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල